Feeds:
Posts
Comments

Archive for November, 2011

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ ඇතැයි කියන (කතෝලික පල්ලියක් මෙහෙයවන) ළමා නිවාසයක සිදුවී යැයි කියන ළමා වෙළඳාමක් ගැන පසුගිය දින කිහිපය පුරාම බොහෝ මාධ්‍ය වල අපට දැනගන්නට ලැබුනි. මෙම ප්‍රවෘත්තිය මුලින් ම අසන විට මට මතක් උනේ දැනට වසර 12කට පමණ පෙර රාවතාවත්ත ප්‍රදේශයේ ඇති පල්ලියේ බිත්තිවල යම් යම් රූප ඉබේම මතුවුනාය කියා කතෝලිකයන් බුරුතු ගණන් එහි වන්දනාවේ ගිය හැටිය.

මේ පල්ලි/පන්සල්/කෝවිල් වල සිදුවන ක්‍රියා කිසියම් අධිකාරියක් යටතේ නියාමනය කලයුතු බව මගේ යෝජනාවයි. එවිට බිත්තිවල සිතුවම් මතුවීම, ගස්වල නාග රාජයින් පහල වීම, ධාතු වැඩම කිරීම, ප්‍රතිමාවලින් ආලෝකයන් පිටවීම… ආදී නොයෙක් මගඩි (හාස්කම්) යොදා මෝඩ මිනිසුන් මුලා කිරීම නවත්වා ගත හැකිවනු ඇත.

අපි “දරුවන් විකිණීම” ගැන කථා කරමු.

දරුවන් විකිණීම හොඳද නරකද? හා දරුවන් පිනට දීම (දන් දීම) හොඳද නරකද? යන ප්‍රශ්න දෙකට ලැබෙන පිලිතුරු විවිධාකාරය. ඇතැමුන් කියන්නේ දරුවන් පිනට දීම (දන් දීම) ඉතා උසස් ක්‍රියාවක් බවයි, එසේ කලවිට බුදුවෙන්නත් පුළුවන් බව කියයි.

දරුවෙක් විකිණීමට කෙනෙකුට තිබිය හැකි හේතු:
1. දරුවාගේ මව අවිවාහක වීම හා පීතෘත්වය භාරගැනීමට පිරිමියෙකු නොවීම. අවිවාහක ගැහැණුන් දරුවන් වැදීම වැරදි වැඩක්ය යන මතය අපේ සමාජයේ මුල් බැස ඇත.
2. දැනටමත් පවුලේ සිටින දරුවන් ගණන තමන්ට දරාගත නොහැකි වීම.
3. දරුවෙකු හැදීමට සූදානමක් නොතිබූ නමුත් අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවීම. උපත්පාලන ක්‍රම නොදැනුවත් කම හා උපකරණවල මිල දරාගත නොහැකි තරම් අධික වීම.

දරුවන් විකිණීම ගැන කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට මට අවස්ථාවක් ලැබුනි. මුදල් යහමින් ඇති සියලුම දෙනා එයට දැඩි ලෙස විරුද්ධ වූ නමුත් එදා වේල සොයා ගැනීමට කුලී වැඩ කරන කෙනෙක් ඒ ගැන දැක්වුවේ වඩාත් විවෘත මතයකි. ඒ එම ක්‍රියාව විකුණන කෙනාත් ගන්නා කෙනාත් අතර සිදුවන ගණුදෙනුවක් බවත් එයට විරුද්ධවන්නට තමන්ට අයිතියක් නැති බවත්ය.

ජනමාධ්‍ය වලින් පුනපුනා ප්‍රකාශ කල මතයක් වූයේ මෙසේ විකුණන්නේ රටේ අනාගතය බවයි. රටේ අනාගතය භාරගෙන අවජාතක දරුවන් ලෙස පාරට වැටෙනවාට වඩා විදේශීය යුවලකගේ රැකවරණය ඇතිව නිසි අධ්‍යාපනයක් ලබා හොඳින් ජීවත් වීම මේ දරුවන් ලබන භාග්‍යයක් නොවන්නේ ද?

ලංකාවේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව තමන්ගේ භාරයේ රඳවාගෙන සිටින එක් දරුවෙකු වෙනුවෙන් දිනකට වෙන් කරන්නේ රුපියල් විස්සක් පමණ බව පුවතක් දුටු බව මට මතකය. එය සත්‍ය නම් ළමා නිවාසවල ජීවත් වන දරුවන්ගේ ජීවන තත්වය කුමක් දැයි අපට සිතා ගත හැකිය.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යනු කෙබඳු ආයතනයක් දැයි දැන ගැනීමට පහත ලිපි උපකාරී වනු ඇත.

ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය
දැරියන් පැනයාමට හේතුව සමලිංගික සේවනය හෙළිවීම ද?
ළමා නිවාසවලින් එළියට එන අය ගැන හෙළිදරව්වක්

Read Full Post »

ශ්‍රී ලංකාවේ අය-වැය හා පඩයක් අතර බොහෝ සමානකම් ඇත. දෙකම එලියට එන්නේ ලොකු සද්දයක් දමාගෙනය. පිටවූ පසු අවට පරිසරයම ගඳ ගස්සයි. එලියට ආ මොහොතේ බොහෝ දෙනා කුපිත කරවයි, නමුත් කැමති අයත් සිටී. ටික වෙලාවකට පසු පඩයක් හෝ අය වැයක් තිබුනා දැයි කිසිවෙකුටත් මතක නැත. ඊලඟ පඩය (අයවැය ) එලියට එනකොට කලින් පඩය, එහි ගඳ හෝ ඉන් නැගුන ශබ්දය කිසිවෙකුටත් මතක නැත. මතක් කරන්නේත් නැත.

දිවයින පුවත්පතට අනුව අයවැයේ වැදගත්ම දේවල්


ඉහත හයිලයිට් කර ඇත්තේ අයවැයේ ඇති වැදගත්ම සැලසුම් කිහිපයයි. පඩයක් නමුත් වැදගත් ඒවා ගැන අදහසක් නොදැක්වීම පඩය ඇරිය කෙනාට කරන මදි කමකි.

ඔන්න එහෙනම් මගේ අදහස්:

  • රණවිරු දෙමාපියන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට ආතල් ගැනීමට වියදම් කිරීම සඳහා මගෙන් බදු අය කරගැනීමට සැලසුම් කර ඇත.
  • හිඟන්නන්ට පොල් පැලයක් ලබාදීම ඉතාම ප්‍රඥාවන්ත හා සැලසුම් සහගත ක්‍රියාවකි. දැන් පොල් පැලයක් හිටෙව්වොත් ඊලඟ ජනාධිපතිවරණය කාලෙට පොල් පලදාව විකුණා ගැණීමට නම් කාටද චන්දෙ දෙන්න ඕනි?
  • ලංකාවේ ජනගහනය තාමත් කෝටි දෙකහමාරකි. චීනය ඉන්දියාව වැනි රටවල් හා කරට කර සිටින්න නම් හැකි ඉක්මණින් ජනගහනය වැඩි කරගත යුතුය. සෝම හාමුදුරුවන් නම් කීවේ මුස්ලිම් ජනයා ලඟදීම ලංකාවේ බහුතරය වන නිසා සිංහල මිනිසුන් හා ගැහැනුන් අනාරක්ෂිත රති කෙලියට මීට වඩා උනන්දු වියයුතු බවයි. පොලිසියේ සිටින්නේ අට වසර යන්තම් සමත්වූ ඉතා දක්ෂ පිරිමින් හා ගැහැනුන්ය. ඔවුන් ගේ ජානවල ඇති යම් යම් විශේෂ ලක්ෂණ නිසා ඔවුන් ලවා පට්ටි ගස්සා ගැනීම ලාංකේය ජාතියටම ඉදිරියට යාමට ඇති එලම ක්‍රමයයි.

    කොහොමද ටිකිරි මොලේ?

  • රුපියල 3% කින් අවප්‍රමාණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. ගාමන්ට් හෝ සොෆ්ට්වෙයාර් අපනයන වෙළඳාම ලාභ වන්නේ ලංකාවේ අඩුමිලට ලැබෙන ශ්‍රමය යොදා කරන කර්මාන්ත නිසාවෙනි. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙකුට පැයකට රුපියල් දහසක් පමණ වැටුපක් ගෙවන වර්ටූසා මුදලාලි එම පැයටම ඇමරිකන් සුද්දාගෙන් ඩොලර් හතලිහත් සියයත් අතර මුදලක් අය කරගනී. හදිසියේ වත් රුපියල අධිප්‍රමාණ වී ඩොලරයට රුපියල් දහයක් වී නම් වර්ටූසා මුදලාලිට කඩේ වසා දමා පාරේ හිඟා කන්න වෙනවාය. ඒ හැරත් දුප්පත් මිනිසුන් සියලුදෙනා පොහොසත් වනවා කියන්නේ නපුරු සිහිනයක් මය.

රජතුමා මළපහ කරන ගමන් කැකිරි කනවා යයි කීවේ අන්දරේ ය. ඒ කාලේ රජවරු එහෙමය. මේ කාලයේ රජවරුත් එහෙමමය. මේ කෙටි සටහන තැබුවේ පහත අමුණා ඇති පුවත අරභයා ය.

දිවයින මුල් පිටුව 19-11-2011

Read Full Post »

ශ්‍රී ලංකාවේ රජය හා වෙනත් පාර්ශව අතර සිදු කෙරෙන සාකච්ඡාවන් වලදී සාකච්ඡාවට ගන්නා මාතෘකා හා ඒවාට සම්බන්ධ වන කථිකයන් ඉදිරිපත් කරන මතවාද මොනවාදැයි දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් ඇත. නමුත් මෙතෙක් කල් සිදුවුනු ආකාරය නම් මේ සාකච්ඡාව රහසේ සිදු කර අවසානයේ තමන් ඇතිකරගත් එකඟත්වයන් මොනවාදැයි ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම පමණි.

සාකච්ඡා සාකච්ඡා

වෘත්තීය සමිති නායකයා : “සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කරන තුරු අපි වැඩ වර්ජනයේ”
රජය : “තමුසෙට මෙච්චරක් දෙන්නම්.. වර්ජනේ නවත්තලා දාපන්”

මෙන්න ප්‍රවෘත්ති : ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩවර්ජනයේ නිරතවූ සේවකයන්ගේ වැඩවර්ජනය අසාර්ථක වේ…

පසු ගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන් හා රජය අතර පැවැත් වූ සාකච්ඡා වලදීත් මෙවැනිම බඩගෝස්තරවාදී ගණුදෙනු සිදුවූ බව පසු කාලීනව හෙලි වුනි.

රජය යනු ජනතා නියෝජිතයා ය. රජය රහසේ හෝ එලිපිට ගන්නා තීර්ණ වල අවසන් ඵල භුක්ති විඳින්නේ රටේ ජනතාවයි. ඉදිරියේදී වත් මෙවන් දේවල් සිදු නොවීමට නම් “රහස් සාකච්ඡා” සංස්කෘතියෙන් මිදී විවෘත සාකච්ඡා ක්‍රමවේදයකට යොමු විය යුතුය යන්න මගේ යෝජනාවයි.

Read Full Post »

(2007 වසරේ දී) අන්තර්ජාල අවහිර කිරීම් කරන රටවල්

(2007 වසරේ දී) අන්තර්ජාල අවහිර කිරීම් කරන රටවල්


පසුගිය සියවසේ “බටහිරයන්” විසින් කල විශිෂ්ඨතම සොයගැනීම් හා නව නිර්මාණ අතර ඉදිරියෙන්ම තැබිය හැකි නිර්මාණයක් වන්නේ අන්තර්ජාලයයි. ඒකාධිපති/ජනපීඩක රාජ්‍යයන් කිහිපයක් හැරුණු කොට මුලු ලොවම අන්තර්ජාලය හරහා එකතුවන බව ඔබට අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ. කිසිදු රටකට හෝ පාලකයෙකුට හෝ එය තමාට රිසිසේ පාලනය කිරීමට හැකි දෙයක් නොවේ. චිත්‍රපට හා සංගීත කර්මාන්ත වල නිරතවූවන්ගේ සංවිධාන ඩොලර් මිලියන ගණන් (රුපියල් නම් බිලියන ගණනක්) වැය කර තම නිර්මාණ අන්තර්ජාලය හරහා සොරකම් කිරීම වැලැක්වීමට උත්සාහ කලත්, එයට සෑම රටකම පාහේ නීතිමය සහයෝගය තිබුනත් සිදු කිරීමට නොහැකිවී ඇත්තේ අන්තර්ජාලයේ පවතින අරාජික ස්වභාවයයි.

අතුරු කථාව : 1988/89 කාලයේ හටගත් ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ නමින් වූ කැරැල්ල මර්ධනය කිරීමට එකල රජය යොදාගත්තේ අපූරු වැඩ පිලිවෙලකි. සැකකරුවන් අල්ලා ඔවුන්ට විවිධාකාර වධ දී මරාදමා හෝ පණ තිබියදී ටයරයක් බෙල්ලට දමා ප්‍රසිද්ධ ස්ථානයකදී ගිනි තැබීම ය. නැතිනම් හිස කඳින් වෙන්කර ලී කණුවක ගසා ප්‍රදර්ශණයට තැබීමය. එකල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ කාරණයක් වූයේ මෙම ක්‍රියාවලියේ ‘යම පල්ලන්’ ගේ රාජකාරියේ නිරත වූ හමුදා හා පොලිස් නිලධාරීන්ට එයින් ඇතිවූ මානසික බලපෑම් හා කම්පනයන්ය. තම බිරිඳට දැඩිලෙස පහර දී වතුර බාල්දියක හිස එබීම පුරුද්දක් කරගත් සෙබලෙකුගේ කථාවක් එකල මට අසන්නට ලැබුනි. නමුත් බොහෝ සිදුවීම් මාධ්‍යයන්ට වාර්තා නොවුන බව මගේ හැඟීමයි.

අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදන්නා මුග්ධයින්, ඊනියා විද්වතුන්, පූජකයින් හා මුග්ධ පාලකයන් විසින් අන්තර්ජාල‍ය යනු තමන්ට පාලනය කල හැකි දෙයක් බව සිතා සර්ට් ආයතනයේ කොල්ලන්/කෙල්ලන් යොදවා අන්තර්ජාලයේ සිංහල කිරිපලු සෙවීමේ මහා මෙහෙයුමක් අරඹනු ලැබූ බව ඔබට මතක ඇතැයි සිතමි. පහත අමුණා ඇති ලිපියෙන් පෙනෙන්නේ එම මෙහෙයුමේ විපාකයකි.

විදුසර 19-10-2011

විදුසර 19-10-2011

මෙවන් තකතීරු වැඩ කිරීමට මොවුන්ට නියෝග දෙන්නේ 1980 දශකයේ අන්තර්ජාලය බිහිවීමට පෙර තම අධ්‍යාපනය අහවර කරගත් උන්දෑලා විය යුතුය.

Read Full Post »

අනාගතය ගැන අනාවැකි කීම සම්බන්ධයෙන් මා අසා ඇති කතාවක් මෙසේය.

වරක් අන්දරේ සිටි ගමට සියළු දේ දත් පඬිතුමෙක් පැමිණියේ ලු. කෙනෙකුට ඔහුගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ඉඩ ලබාදුන් අතර නිවැරදිව ලබාදෙන සෑම පිලිතුරක් සඳහාම ගම්මුන්ට විශාල ඔට්ටු මුදලක් ගෙවීමට සිදුවිය. මද වේලාවකට පසු, මේ ප්‍රශ්න ඇහිල්ලෙන් තමන් පරදින බව තේරුම් ගත් ගම් වැසියන් අන්දරේ වෙත දිවගියේ ඔහුට වත් මේ පඬිතුමා පරාජය කල හැකිදැයි බැලීමටය.
අන්දරේ තමන් දන්නා ශාස්ත්‍රයෙන් ගැටළු කිහිපයක් ඉදිරිපත් කල අතර පඬිතුමා ඒවාට නිවැරදි පිලිතුරු ලබා දුන්නේය. අවසානයේ දී අන්දරේ තම අතෙහි වූ සැරයටිය පඬිතුමාගේ හිසට එල්ල කර ඔසවා මෙසේ ඇසීය.
“මේ හැරමිටියෙන් මම ඔහේට ගහනවද? නැද්ද?”
මොහොතක් කල්පනා කල පඬිතුමා කීවේ “මම පරාදයි!” කියාය.

මෙම කථාවේ එන අන්දරේ ගේ ප්‍රශ්නය ජෝතිෂ්‍යයේ අනාවැකි විමසීමටද අපට යොදාගත හැක. ජෝතිශාස්ත්‍රඥයෙක් වෙත ගොස් 2×2 පොල්ලක් පෙන්වා මා මෙයින් ඔබට පහර දෙනවාද නැද්ද කියා ඔහේගේ හඳහන බලා කියන්නැයි අභියෝග කල හැක.

ලබන නොවැම්බර් 15දා සෙනසුරු මාරුව හා ඒ ආශ්‍රිතව සිදුකල අනාවැකි පල කිරීම් ගැන කථා කරමු.

සෙනසුරු ග්‍රහයාගේ චලිතය තුන් ආකාරයකින් බවට තාරකා විද්‍යාඥයින් ගණනය කර ඇත. තම අක්ෂය වටා 9.87 km/s ක වේගයකින් භ්‍රමණය වෙමින් 9.69 km/s වේගයකින් සූර්යයා වටා පරිභ්‍රමණය වේ. ඊලඟට 230 km/s ක වේගයකින් ක්ෂීරපථයේ ගමන් කරයි. ලබන නොවැම්බර් 15 වන දිනයේදීත් එම චලිතයේ කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් ජෝතිෂ්‍යට අනුව යම් සිදුවීමක් සිදු වේ.

කුරුල්ලන් හඳට යාම

කුරුල්ලන් හඳට යාම (දෘශ්ඨි මායාවකි)


ඉහත පින්තූරයේ ඇති සිදුවීම ඔබ අනන්තවත් දැක ඇතුවාට සැකයක් නැත. නමුත් කිසිවිටෙක ඔබ එය කුරුල්ලන් හඳේ යාමක් ලෙස අර්ථ දැක්වූවා ද?
දැන් පහත රූප සටහන බලන්න. මෙය සෙනසුරු තුලා රාශියට යෑම ලෙස ජෝතිෂ්‍යයේ අර්ථ දැක්වේ. ඉහත පින්තූරයේ නිරීක්ෂකයාත්, කුරුල්ලාත්, හඳත් අතර ඇති දුරවල් වල හා සමාන විශමතාවයක් පෘථිවියත්, සෙනසුරුත්, තුලා රාශියේ ඇති තාරකා කිහිපයත් අතර වෙයි.

සෞරග්‍රහ මණ්ඩලය, ග්‍රහයන්ගේ චලිතය හා සෙනසුරු මාරුවේ දෘශ්ඨි මායාව

දිවයින පුවත්පතේ පලවූ මේෂ ලග්න අනාවැකි

2011-11-03 දිවයින පුවත්පතේ පලවූ මේෂ ලග්න අනාවැකි

දැන් අපි ජෝතිශාස්ත්‍රඥයෙක් මෙම සෙනසුරු මාරුව ගැන අනාවැකි කියන්නේ කෙසේ දැයි විමසමු.

ජොතිෂ්‍යයේ ග්‍රහයන්ගේ චලිතය ආශ්‍රයෙන් අනාවැකි ප්‍රකාශ කිරීමට කිසිදු පදනමක් නැත. ඇත්තේ පහත ආකාරයෙන් පැරණි පොත පතෙහි ඉදිරිපත් කර ඇති කල්පිතයන් පමණකි.

  • සෙනසුරු රාශි දොලසට ‘ගමන්’ කරනවිට එක් එක් රාශිය සඳහා අනාවැකි ඇත. උදා: මේෂ ලග්න හිමියෙකුට තුලා යනු 7 වන රාශියයි. 7වන ස්ථානය මූලිකව විවාහයට අදාල ස්ථානය ලෙස අර්ථ දක්වා ඇති බැවින්, මෙම සෙනසුරු මාරුව මේෂ ලග්න හිමියෙකුගේ විවාහයට අදාල අනාවැකි ඉදිරිපත් කරයි.
  • සෙනසුරු හැරුනු කොට සාපේක්ෂව සෙමින් චලනය වන බ්‍රහස්පති වැනි ග්‍රහයින් සඳහා ඇති ඉහත පරිදිම වන අනාවැකි ඇත. උදා: මේ දිනවල බ්‍රහස්පති දිස්වන්නේ මේෂ රාශියේය.
  • ඊලඟට උපන් වේලාවේ සෙනසුරු පිහිටි රාශියට අදාලව ඉහත (1) හි පරිදි අනාවැකි ඇත.

ඉහත තුන් ආකාරයට ලබා ගන්නා අනාවැකි අතර කිසිදු ගැලපීමක් නැත. බොහෝවිට පරස්පර විරෝධී වේ (උදා: විවාහය ඉක්මන් වන බවට හා ප්‍රමාද වන බවට/ දැනටමත් විවාහක හෝ මහළු අයෙකුට විවාහ අවස්ථා ඇති බවට වන අනාවැකි ). මෙම අනාවැකි සියල්ල එකට ගෙන ටික වේලාවක් කල්පනා කලවිට සිදුවීමට වඩාත් සම්භාවීතාවයක් ඇති අනාවැකි වෙන්කර ගැනීමට අපට පුළුවන්.

මාගේ කලින් ලිපියට ප්‍රතිචාරයක් දැක්වූ පාඨකයෙක් තමා ලද අත්දැකීමක් ඉදිරිපත් කර තිබුනි. නමුත් එවන් අනාවැකි කීම එතරම් අපහසු කාර්‍යක් නොවේ. දුක්මුසු මුහුණක් ඇතිව තරුණයෙක් මට ඔහුගේ හඳහන බලා අනාවැකියක් කියන්නැයි ඉල්ලා සිටියොත් මා හඳහන නොබලාම කියා සිටින්නේ පෙම්වතිය අතහැර ගොස් ඇතැයි හෝ රැකියාව නැතිවී ඇතැයි කියාය. වැඩිහිටි කාන්තාවක් තමාගේ තරුණ පුතාගේ හඳහන බලන්නැයි කීවොත් ඉහත දෙකට අමතරව විභාගයක් ගැන හෝ විදේශගත වීමක් ගැන කියමි.

දැනට ජීවතුන් අතර නැති කස්තුරිරත්න නම් ප්‍රකට ජෝතිර්වේදියා ඔහුගේ පොතක මෙසේ සඳහන් කර තිබුනි.

අඹ ගසකට ගල් සියයක් පමණ ගැසූවිට ඉන් දහයක් වත් අඹ ගෙඩිවලට වදිනවා. ජෝතිෂයේ දී අනාවැකි කීමත් අන්න ඒ වගේ

Read Full Post »

ඌරුලෑවා (Skunk) යනු සාමාන්‍ය තත්වයෙන් සිටිනා විට ගඳ සතෙකු නොවේ. නමුත් ඌ උත්තේජනය වූ විට (බොහෝවිට තම පැවැත්මට අභියෝගයක් එල්ලවූ විට ) තම පශ්චාත්භාගයෙන් මහා ගන්දස්කාරයක් මුදාහරී. එවිට ඌට අභියෝගයක් වූ ප්‍රතිවාදියා හිස හැරුන අතේ දිවයන්නේ නැවත කිසිදා මෙවන් ගඳයෙකු හා නොගැටෙමියි සිතාය. “ඌරුලෑවා ගිය පාරත් ගඳයි” කියා සිංහල කියමනක් ඇත්තේ මේ නිසාය.

2011 නොවැම්බර් 31 දා විදුනිසරු පුවත්පත බලන මාගේ විශේෂ අවධානයක් යොමුවූ ලිපි කිහිපයක් විය. ඔබගේ දැනගැනීම සඳහා උපුටා ගැනීම් කිහිපයක් පහත ඉදිරිපත් කරමි. මෙහි ඌරුලෑවා කවුදැයි ඔබට අමුතුවෙන් කිව යුතුයයි නොසිතමි.

මේ හැරුන කොට තවත් පුද්ගලයන් කිහිප දෙනෙක්ද ( පරිඝණක ජාල විශේෂඥයෙකු, ගණිත කථිකාචාර්ය කෙනෙකු හා තවත් අයෙක් ) ඉහත ලිපි වලට සමාන හරයකින් යුතු ලිපි මෙවර ඉදිරිපත් කර තිබුනි. මොවුන් කියා සිටින්නේ බටහිර විද්‍යාව හා සිංහල විද්‍යාව ලෙස විද්‍යාවන් දෙකක් ඇති බවත් සංසන්දනාත්මකව ගත්කල සිංහල විද්‍යාව උසස් බවත්ය. සිංහල විද්‍යාව යනු කුමක් දැයි අසා මා මීට පෙර ඔබ වෙත ගැටළුවක් ඉදිරිපත් කලා මතක ඇතැයි සිතමි. එයට කිසිවෙකු ප්‍රතිචාර නොදැක්වීම මා අර්ථ දක්වන්නේ කිසිවෙක් සිංහල (බෞද්ධ ) විද්‍යාවක් නොදන්නා නිසා බවය.

නමුත් පුදුමයකට මෙන් විදුසරට මෙම ලිපි ලියූ ඊනියා ඉංජිනේරුවන් සිංහල බෞද්ධවිද්‍යාව අතැඹුලක් සේ දන්නා බව පෙන්වයි. නොදන්නේ නම් බටහිර විද්‍යාව හා සැසඳීමක් කරන්නේ කෙසේ ද?

ඉහත උපුටා දක්වා ඇති වාක්‍ය කිහිපය කියවූ විට ඔවුන් දන්නා සිංහල බෞද්ධ විද්‍යාව කුමක් දැයි අපට තේරුම් ගත හැකිය. ගැමියන් කිනිතුල්ලන්ගෙන් හරකුන්ව ආරක්ෂා කිරීමට කොහොඹ තෙල් ආලේප කිරීම, ඍතු වෙනස්වන කාලයන් දැන සිටීම ආදිය ඔවුන් කියන මහා විද්‍යාවයි. තවත් අයෙකුට අනුව ලෝවාමහාපායේ ගල්කණු, වැව් හා ඇලමාර්ග ඔය කියන මහා විද්‍යාවට උදාහරණය.

මොවුන් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබුවාට සා/පෙළ දී උගන්වන තැත්-වරද ක්‍රමයවත් නොදන්නා බව ඔවුන්ගේ කියුම්වලින් පෙනේ.
තැත්-වරද ක්‍රමය (Trial & Error methodology) යනු ගැටළුවක් විසඳා ගන්නා තුරු විවිධ උපක්‍රම භාවිතයයි. උදාහරණයක් : කිනිතුල්ලන්ට ප්‍රතිකර්මයක් ලෙස කොහොඹ තෙල් ගෑම. ගවයන්ට කිනිතුල්ලන් බෝවීම ගැටළුවක් නම් විවිධාකාර ක්‍රම යොදා එය මැඩලීමට උත්සාහ කිරීමයි. තමන්ට සොයාගත හැකි විවිධ දෑ ගවයාගේ සිරුරේ ආලේප කර බලා වැඩකරන ප්‍රතිකර්මය සොයා ගත හැක. මගේ නිවසේ ඇතිකරන බල්ලා තමාගේ කූඩුව විවෘත කිරීමට හැකි ක්‍රමය තනිවම සොයා ගත්තේ මෙම ක්‍රමය උපයෝගී කරගෙනය.

ඊළඟට මොවුන් නොදන්නා කාරණය වහල් ශ්‍රමයයි. රජතුමා ලෝවාමහාපායක් හදපියව් කියා නියෝග දුන් පසු එය කෙසේ හෝ නිමකිරීම යටත් වැසියන්ගේ කාරියයි. නැතිනම් දෙතිස්වධ ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් ලැබීම අනිවාර්ය වේ.

කරුණු මෙසේ නම් බටහිර ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්/ගන්නා මොවුන්, බටහිර විද්‍යාවේ පිහිටෙන් රැකියාවක් කරන මොවුන් මේ දොඩවන විකාරය කුමක් ද? ඔවුන් නොමඟ යැව්වේ කවුරුන් ද?

Read Full Post »