Feeds:
Posts
Comments

Archive for December, 2011


මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මකවූ ‘ස්පා’ නමින් හැඳින්වූ සේවාව තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇති බව ඩේලිමිරර් වාර්තා කරයි. මේ තීරණය ගැනීමට මාලදිවයින් රජය තීරණය කර ඇත්තේ ‘ස්පා’ යනු ගණිකා ව්‍යාපාරයන් ලෙස හඳුන්වා මුස්ලිම් ආගමික අන්තවාදී දේශපාලන පක්ෂයක් ජනතාව කුපිත කිරීම නිසාය. මෙම හදිසි තීරනය නිසා හෝටල් හිමියන් ගේ ආදායම් මාර්ගවලටත් ඒ ආශ්‍රිත රැකියාවල නියුතු වූවන්ගේ රැකියාවනුත් පමණක් නොව රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරයටද බලපෑමක් එල්ලවේ.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින සියළු සිංහලබෞද්ධයන් ද එකට එක්වී ලංකාවේද ‘ස්පා’ තහනම් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. පසුගිය සමයේ මිරිහානේ පොලිසිය දිගට හරහට ගණිකා නිවාස වැටලූ බව ඔබට මතක ඇතැයි සිතමි. කෙසේ නමුත් කැසිනෝ වලට සිදුවූ ආකාරයටම මෙයත් ලෝකල් ක්ලයන්ට්ස්ලාට පමණක් තහනම් කිරීම යහපත් යයි අර උන්නාන්සේලාම පසුව කියනු ඇත.

Advertisements

Read Full Post »

සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට බැරක් ඔබාමා සහාය වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඒ මහතාගේ දියණිය ධවල මන්දිර වෙබ් අඩවියේ පෙත්සමක් ආරම්භ කර තිබුනි. මේ ලිපිය ලියන මොහොත වන විට ඒ සඳහා අත්සන් 20,152 ක් ලැබී ඇත. ඉදිරි දින 5 තුල තවත් අත්සන් 4,848 ක් ලබා ගත හැකි වුවහොත් මෙම පෙත්සම පිලිබඳව බැරක් ඔබාමා හෝ ඔහුගේ රජය සැලකීමක් දැක්විය යුතුය.
මේ එම පෙත්සම හා සම්බන්ධයෙන් මට නැගුනු ගැටලු කිහිපයක් හා ඒවාට මා විසින් ව්‍යුත්පන්න කර ගන්නා ලද පිළිතුරුය.

1. මහින්ද රාජපක්ෂ (හා ඔහුගේ නියෝජිතයන්) ප්‍රකාශ කලේ තමන්ගෙන් සමාව ඉල්ලා සිටියහොත් ඒ ගැන සලකා බලන බවයි. සමාවක් ඉල්ලා නොසිටියේ ඇයි?

නොකල වරදකට සමාවක් ඉල්ලන්නේ නැතැයි සිතන නිසාය. හැරත් සරත් ෆොන්සේකා එලියට එනු දැකීමට බංකොලොත් දේසපාලකයන් ඇත්තටම කැමතිද?

2. ඇත්තටම මහින්දගෙන් සමාවක් ඉල්ලුවානම් සමාව දෙයි ද?
සමාව ඉල්ලුවානම් කොන්දේසි සහිතව හෝ නිදහසක් ලබෙන්නට ඉඩ තිබේ.

3. අන්තර්ජාලය භාවිත කරන්නන් ලක්ෂ ගණනක් සිටින ලංකාවේ සරත් ෆොන්සේකා වෙනුවෙන් අත්සන් විසිපන් දහසක් ලබා ගැනීම මේ තරම් අසීරු වූයේ ඇයි?
සිංහලයන්ට ඕනෑම දෙයක් සති දෙකකින් අමතකවන බව කවුදෝ කියා තිබුනි.

4. මේ පෙත්සමට අදාල අත්සන් විසිපන් දහස ලබා ගත හැකි වුවහොත් ඔබාමා (හෝ එම රජය) කෙබඳු ප්‍රතිචාරයක් දක්වයි ද?

Thank you for participating in the We the People platform, we respect the right of the petitioners to be heard and value the feedback we receive from Sri Lankan who share their experiences – good or bad – with us…
සොරි!!. ඕව ඔහොම තමයි. මට ඕවට අත දාන්න බැහැ.

සරත් ෆොන්සේකා සිරගත වී සිටින්නේ ඔහුගේ දේශපාලන දර්ශනයක් නිසා නොවේ. ඔහු මාක්ස්වාදියෙක් ද කොමියුනිස්ට් කාරයෙක්ද ලිබරල්වාදියෙක්ද යන්න අප සැබෑවටම දන්නේ නැත. ඔහු අධිකරණය ඉදිරියේ දිගින් දිගටම අසරණ විය. ඇත්තටම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැනි තත්වයකට මුහුණදෙන්නට ඔහුට සිදුවී ඇත. නුදුරු අනාගතයේ දී විභාගයට ගැනීමට නියමිත නඩු වල තීන්දුත් පසුගිය ඒවාට වඩා වෙනස් වීමට ඉඩක් නැත. ජනාධිපතිවරණය අවසන්වූ මොහොතේ පටන් සිර ගෙදරට වී සිටීමට සරත් ෆොන්සේකාට සිදුවී ඇත්තේ ඔහුව එලියට ගැනීමට වඩා ඔහුව ඇතුලේ තැබීමට උත්සාහ කරන ඔහුගේ මිත්‍ර පාර්ශවයන් නිසා බව මගේ හැඟීමයි.

ලබන 23දාට පසු ඔබාමාගේ නිල ප්‍රතිචාරය ලැබුනු පසු තම පියා වෙනුවෙන් සමාව ඉල්ලීම ෆොන්සේකා දියණියන් හමුවේ ඇති එකම විසඳුම වනු ඇත.

ධවල මන්දිර වෙබ් අඩවියේ පෙත්සමට සබැඳිය

Read Full Post »

“ඉරිදට අපේ ගෙදර රෑ බනක් තියෙනවා. උඹට එන්න කියන්න කියලා අපේ අම්මා කිව්වා”
“ම් ම්ම්… මට බන කියන්න බෑ බං… වෙන කෙනක් හොයාගන්න කියපන්..”
“නෑ බං.. උඹට එන්න කිව්වෙ බන අහන්න.. අළුත් හාමුදුරු කෙනෙක් එනව.. ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනෙක්”
“මට බෑ බං බන අහන්න. මෝඩ කතා අහනකොට මට තරහ යනවා”
“වරෙන්කො.. මේ හාමුදුරුවො වෙනස් කියල කියන්නෙ.. උඹේ තියෙන ප්‍රශ්නත් විසඳගන්න පුලුවන් වෙයි”
“ඒ කියන්නේ එයාට කිකිළිද ඉස්සරින්ම ආවෙ නැත්නම් බිත්තරේද කියල කියන්න පුලුවන් වෙයිද?”
“ඔව් ඔව් අහල බලපන්”
“හා හා මම එන්නම් එදාට”

මාගේ මිතුරෙකු ගේ නිවසේ පැවති සෝම හිමියන්ගේ බනකට සහභාගී වීම සඳහා මට ආරාධනාවක් ලැබුනේ එසේය. මේ දැනට දශක දෙකකට පමණ පෙර වූ සත්‍ය සිදුවීමකි. ඒ කාලයේ මම ආගමින් ඈත්ව සිටින බව මා ඇසුරු කල/නොකල බොහෝ දෙනෙකු දැන සිටි කාරණයක් විය.

ඉරිදා හැන්දෑවේ එකඟ වූ පරිදි මම මිතුරාගේ නිවසට ගොස් හාමුදුරුවන් ඉදිරිපසින්ම පැත්තකට වෙන්නට අසුන් ගත්තෙමි. මිතුරාත් මා අසලින්ම විය. ප්‍රතිපත්තියක් ලෙස වැඳීම ප්‍රතික්ෂේප කල මට වැඳගෙන ඉන්නට සිදුවුනේ මිතුරාගේ ඇවිටිල්ල නිසාය. කොහොමත් වවුලාගේ ගෙදර බනකට ගියාම ඒවිදිහට ඉන්න වෙනවා නෙ.
“…”
“බුද්ධං සරණං…”
“…”
සාම්ප්‍රදායික පන්සිල් ගැන්වීම අවසන් විය. දැන් බන කතාව කියන මොහොතයි.
“පිංවතුනි… …”
“දැන් මෙතන ඉන්න අම්මලාගෙන් කී දෙනෙකුට දරුවන් දෙන්නෙකුට වැඩියෙන් ඉන්නවා ද? අත් උස්සන්න බලන්න!”
අත් කිහිපයක් ඉහලට එසවෙයි.
“දැන් දරුවන් දෙන්නෙක් හරි ඊට අඩුවෙන් ඉන්න අම්මලා අත් උස්සන්න!”
නැවතත් අත් කිහිපයක් එසවෙයි.
“බලන්න මේ සිංහල ජාතියට වෙන්න යන දේ. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්න ඉස්සරින් මේ රටේ මහ ජාතිය මුස්ලිම් වෙනවා. සිංහලයන් සුළු ජාතිය වෙනවා…”
කිකිළිත් බිත්තරයත් මට කොලොප්පමට සිනාසෙනු පෙනෙයි. මම මගේ අතිජාත මිත්‍රයාට එරෙව්වෙමි, විළිස්සුවෙමි. මිතුරා අසරණ වී ඇති බවක් පෙනෙන්නට තිබුනි.
බන අවසානවූ පසු මගේ මිතුරාගේ මෑණියන් මාවෙත පැමිණ ඇසුවේ
“පුතා .. ඔයාගේ ප්‍රශ්න හාමුදුරුවන්ගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි.. දැන් වත් අහන්න..” කියා ය.
“නෑ නෑ ඕනි නෑ… මගේ ප්‍රශ්න වලට උත්තරේ ලැබුනා”
“මච්ං කොහෙන්ද බං මේ හාමුදුරුවො හොයාගත්තෙ?” මම මිතුරාගෙන් ඇසුවෙමි.
“හාමුදුරුවො ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ.. ලංකාවට ආවම නතර වෙන්නෙ අහවල් ගැහැණු කෙනාගෙ ගෙදර”
“හ්ම්ම්”
සෝම හාමුදුරුවන් පසුකාලීනව ලංකාවේ පදිංචියට පැමිණ සුළු ආගමිකයන්ට එරෙහිව කතා කල ප්‍රබල චරිතයක් බවට පත්විය. ඔහුගේ ධර්ම දේශනා වල බුද්ධ ධර්මයකට වඩා වෙනත් විවිධ මතවාද ඉදිරිපත් කල අතර ඒවා “කාලීන ධර්ම දේශනා” ලෙස හැඳින්වුනි.
නැවතත් සෝම හාමුදුරුවන් ගැන මාගේ අවධානය යොමු වූවේ ඊට වසර ගණනකට පසු ඔහු හා අශ්රොෆ් අතර ටී.එන්.එල් රූපවාහිනී නාලිකාව හරහා පැවති විවාදය සම්බන්ධයෙන්ය. ඉස්ලාමිකයන් බෞද්ධ පූජා භූමියක් බලහත්කාරයෙන් අල්ලාගෙන එහි පදිංචි වී ඇතිබව එම සංවාදයේ මාතෘකාව විය. මමත් සියලුම කටයුතු පසෙක තබා රූපවාහිනිය නැරඹීමට වාඩිවූයේ මෙදා පොටේ නම් අශ්රොෆ්ට දුවන්නටම දෙනු බලන්නට ය. අශ්රොෆ් මම අකමැතිම දේශපාලුවන් අතර මුලින්ම සිටි අවස්ථාවාදී ජාතිවාදී ආගම්වාදී දේශපාලුවෙකු විය. සෝම හාමුදුරුවන්ගේ ලමා තර්ක කිහිපය අශ්රොෆ් ලිපිලේඛන හා සාක්ෂි ඉදිරිපත් කරමින් බිඳ දමනු ලැබුවේ, සෝම හාමුදුරුවන් කිසිදු පූර්ව සූදානමක් නැතිව විවාදයට පැමිණ ඇතිබව ප්‍රදර්ශනය කරමිනි. මෝඩ උපාසකයන් තමන් දෙසන ඕනෑම දෙයකට සාදුකාර දී පිලිගන්නා ලෙසටම අශ්රොෆ්ද තමන්ගේ මතයට සාදුකාර දී අකුලාගෙන යනු ඇතැයි සෝම හාමුදුරුවන් සිතුවා වන්නට ඇත.

ඉන්පසුව නැවතත් මට සෝම හාමුදුරුවන් ගැන අවධානයක් යොමුවූයේ ඔහුගේ මරණය පිලිබඳ පුවත දැන ගැනීමට ලැබීමෙනි.

දිවයින 2011-12-11

සෝම හාමුදුරුවන් ප්‍රසිද්ධ වේදිකාවකදී සිදුකල තමන්ගේ අවසාන කථාව මෙම වීඩියෝවේ ඇත.

“හෙට හර්දයාබාධයක් හැදිල මලොත්..ඒත් මලා තමයි. ක්‍රමය වෙනස්. කාලය වෙනස්. මැරෙන එක මැරෙනව. එච්චරයි”
“යම් විදියකින් ස්වාභාවික මරණයක් නොවුනොතින් දැන් දැනගන්න පුළුවන් කවුද මැරුවෙ කියලා…”
“අපි දේශපාලනය කරන්න ඕනි. මේ දේශය රැක ගන්නට”
“භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරනවා කියල කෑ ගනන්නත් එපා”
“ජාතියත් සාසනයත් බේරගන්න ඉස්සරහට එන භික්ෂූන් වහන්සේලාට… බනින්න එපා”

තමන් හර්දයාබාධයකින් මිය යාමට අදහස් කරන බවත් ඉන්පසු එය නිමිති කරගෙන කිසියම් භික්ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලනයට පිවිසීමට අදහස් කරන බවටත් මෙම කථාවෙන් ඉඟි කරයි. මෙම වීඩියෝවත් සංකරණය කර ඇති එකක් නිසා සෝම හාමුදුරුවන් කියූ එක් වාක්‍යයක් කපා හැර ඇත. ඒ “අපි කිහිප දෙනෙක් මැරෙමු” යන වැකියයි.

ඔහුගේ අවසාන කථාවේ ඉඟිකල ආකාරයෙන්ම මාස තුනක් යන්නට පෙර ඔහුගේ මරණය සිද්ධවිය. ඒ සමගම රටේ ලොකු ආන්දෝලනයක් ඇතිකිරීමට කිසියම් අදිසි බලවේගයක් ද ක්‍රියාත්මකවූ බවක් පෙනෙන්නට තිබුනු අතර හාමුදුරු පිරිසක් ‘හෙළ උරුමය’ නමින් දේශපාලන පිටියට අවතීර්ණ වීමද සිදුවිය. මෙතෙක් දේශපාලන පොරයට එක්ව තිබූ සිංහල උරුමය පසු බැස්ස බවක් දිස්විය.

සෝම හාමුදුරුවන්ගේ මරණයෙන් පසු හෙල උරුමය ප්‍රතිඥා දුන් පරිදි ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වා වැරදිකාර “ක්‍රිස්තියානි ආගමික කල්ලි” නීතිය ඉදිරියට ගෙන ආවේ නැත. එසේ ගෙන ඒමට තරම් බොරු සාක්ෂි නිර්මාණය කර ගත නොහැකි වූවා විය හැක. එසේම අන්‍යාගමික-කරණය නමින් හඳුන්වා දුන් ක්‍රියාව නතර කිරීමට ගෙන ආ පණතත් සම්මත කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ? ඔහු සිය දිවි නසා ගත්තා ද? සිංහල උරුමයේ පරාජිත දේශපාලුවන් සෝම හාමුදුරුවන් මරා ගත්තා ද? මෙම ප්‍රශ්නයට කිසි දිනෙක පිලිතුරක් නොලැබෙනු ඇත.

ප.ලි : පාඨක ඔබගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට හා ස්පෑම් වන කොමෙන්ටු ගොඩ ගැනීම දින කිහිපයකට ප්‍රමාද වනු ඇත.

Read Full Post »

ඒ දහනව වන ශතවර්ෂයේ අගභාගයයි, මෝටර් රථ බටහිර යුරෝපයේ දක්නට ලැබෙන්නට පටන් ගත් කාලයයි. මුල් කාලයේ එම රථ වාෂ්ප බලයෙන් ද පසුව විවිධ ද්‍රව ඉන්ධන වලින් ද බල ගැන්වුන එන්ජින් වලින් සමන්විත විය. මෙම නව තරඟකාරීත්වයට මුහුණ දීමට තමන් අපොහොසත් බව අශ්ව කරත්ත හිමියන් වහා තේරුම් ගත්හ. ඔවුන්ගේ කුමන්ත්‍රණ වල අවසාන ප්‍රතිපලය වූවේ “රතු කොඩි” නීතියයි.

1865 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සම්මත කල මෙම පනතට අනුව:

රථයේ රියදුරා, සහායකයා, හා පයින් ගමන් කරන රතු කොඩි වනන්නා

1. මෝටර් රථයක උපරිම වේගය නාගරික ප්‍රදේශ තුලදී පැයට සැතපුම් 2 කට ද පිට දී පැයට සැතපුම් 4 කට ද සීමා කිරීම.
2. රථයේ රියදුරා, සහායකයා, හා එම රථයට යාර 60ක් ඉදිරියෙන් පයින් ගමන් කරන රතු කොඩි වනන්නා යන තිදෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිටීම අනිවාර්යය විය.

ව්‍යාපාරිකයන් හා කර්මාන්ත කරුවන් බොහෝවිට ප්‍රදර්ශනය කරන්නේ නව තාක්ෂණයත් සමග තමන් නිතරම යන බවය. නමුත් සෑම විටම සිදුවන්නේ තමන්ගේ ලාභය වැඩිවන ආකාරයේ තීරණ ගැනීම මිස නව තාක්ෂණයක් ගැන තුට්ටුවකටවත් තරම් සැලකීමක් දැක්වීම නොවේ.

කෙසේ නමුත් රතු කොඩි කතාවෙන් මා ඉදිරිපත් කරන්නේ තාක්ෂනික ප්‍රගතියේ සතුරන් වන්නේ දැනට පැරණි ක්‍රම සඳහා ආයෝජනය කර එම ආයෝජන රැක ගන්නට උත්සාහ දරන ව්‍යාපාරිකයන් ම පමණක් නොවන බවය. දියුණුවේ සැබෑ සතුරා එවන් ව්‍යාපාරිකයන් රකින්නට නීති සම්පාදනය කරන රාජ්‍ය පාලකයන්ය.

බ්‍රිතාන්‍ය රජය 1865 දී පැනවූ රතු කොඩි නීතිය වැනි නීති ලංකාවේ ආණ්ඩුවත් පනවා තිබේ.

VOIP (Voice Over IP) ලංකාවේ තහනම් කිරීම ඊට එක් උදාහරණයකි.
http://www.trc.gov.lk/services/voip-unblocking.html
http://www.trc.gov.lk/about-us/legislation.html

පිලිගත් ආර්ථික විද්‍යාත්මක මූල ධර්මයන්ට පටහැනිව ජංගම දුරකථන ගාස්තු සඳහා විනාඩියට රුපියල් දෙකක අවම මිලක් නියම කිරීම තවත් එවන් උදාහරණයකි.

Read Full Post »