Feeds:
Posts
Comments

Archive for January, 2013

විද්‍යාත්මක ක්‍රමයෙන් අප යම්කිසි කල්පිතයක් (hypothesis) වැරදි/නිවැරදි බව විමසීමේදී ඔප්පු කරන්න උත්සාහ කරන්නේ එම කල්පිතයක් වැරදි බව මිස නිවැරදි බව නොවේ. උදාහරණයක් ලෙස පරිණාමවාදය වැරදි බව පරීක්ෂණාත්මකව සනාථ කිරීමට කිසිවෙකුත් මේවනතෙක් සමත්වී නැත. කිසිවෙක් එය නිවැරදිදැයි සෙවීමට පරීක්ෂණ කරන්නේ නැත.
ඒ ලෙසම ජ්‍යෝතිෂය විමසීමේදී අප පරීක්ෂණයක් යෝජනා කරන්නේ ජ්‍යොතිෂය වැරදි බව තහවුරු කිරීමටය. මෙම පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල සමීක්ෂණය කිරීමෙන් එක්කෝ ජ්‍යොතිෂය වැරදි බව තහවුරු වීම හෝ නොවීම සිදුවේ.

යෝජිත පරීක්ෂණය:

දැනට ජීවතුන් අතර සිටින හා නොසිටින පුද්ගලයන් දහසකගේ හඳහන් ලබා ගන්න. කැමති එක් ජ්‍යොතිර්වේදියෙකු ලවා එම කේන්ද්‍ර විමසන්න. සෑම අනාවැකියක් සඳහාම එම ජ්‍යෝතිර්වේදියාගෙන් හේතුව විමසා සටහන් කරගන්න.
1. අදාල පුද්ගලයා දැනට ජීවතුන් අතර සිටීද? නැද්ද?
2. ජීවතුන් අතර නැතිනම් මියගිය දිනය හා මරණයට හේතුව?
3…. තවත් ප්‍රශ්න ඇසිය හැකි මුත් ඉහත ප්‍රශ්න දෙක ප්‍රමාණවත් විය යුතුය.

දැන් ජ්‍යොතිර්වේදීන් විසිපස් දෙනෙකු පමණ යොදවා ඉහත පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල අධ්‍යයනය කරන්න.

Read Full Post »

මේ ශාස්ත්‍රය අනුව සියයට සියයක්ම සත්‍යවන කරුණු ප්‍රකාශ කිරීමට නම් කිසිම ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයෙකුට පුළුවන් කමක් නැත. සියයක් කියනවිට එයින් හරියන්නේ හැට හැත්තෑවක් පමණි. නැතහොත් 10ක් 15ක් පමණි. ගල් කැට 10ක් 12ක් ගහගෙන යනවිට එයින් දෙකතුනක් වත් නොවදින්නේ නැත.

~ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න (පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයයාධිපති )/ රොහාන් සිසිරකුමාර (බී.ඒ, එම්.එස්.සී)

ජෝතිෂය පිළිබඳ මා ලියූ ලිපි කිහිපය අහියෝගයට ලක් කරමින් කැලුම් ජයසිංහ නම් පාඨකයා කොමෙන්ටු කිහිපයක් (1, 2) දමා තිබුනි. මේ ඔහුගේ අදහස් ගැන මගේ මතය පැහැදිලි කිරීමකි.

ඔබේ ඉහත පෘථිවි කේන්ද්‍රවාදයක් ජ්‍යෝතිශය තුල ගැබ්ව ඇත්තේය යන මතය ඊට හේතුවන කරුණු කාරණා සමගින්ම දක්වන්නේ නම් සමාජයට සේවයකි. නැතිනම් ඔබ මිනිසුන්ට දෙන්නේ වැරදි පණිවිඩයකි

පෘථිවි කේන්ද්‍රවාදය ජෝතිෂ්‍ය ගණිත ක්‍රමයේ මූලික පදනමයි. පෘථිවිය ඇතුලු ග්‍රහයන් අටදෙනා සූර්යයා වටා ගමන් කරන බව ජෝතිෂ්‍යයේ දැනුමක් නොවේ. ඔබ කියන කාරණාව කිසිදු (පැරණි ) ජෝතිෂ්‍ය පොතක සඳහන් නොවේ. හැකිනම් පොතේ නම හා පිටු අංකය සඳහන් කරන්න.
ඔබ කියූ හෙන්ද්‍රික් මහතාගේ පොතේ පස්වන පිටුවේ දෙවැනි ඡේදයේ කියා ඇත්තේ පෘථිවිය කේන්ද්‍ර කරගත් පැහැදිලි කිරීමකි. එහි සඳහන් “සෙනසුරු තරුව අසුවන සේ වටයක් ගැසුවොත්…” කියන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබාය. රාශි දොලහකට අහස බෙදන්නේ පෘථිවිය කේන්ද්‍රයේ තබා බව එහි තවදුරටත් සඳහන් වේ.

ජ්‍යෝතිශයේ නිෂ්පාදකයින් හෙළයන්ය. මෙරටෙහි බිහිවී ලෝකය පුරා එය බිහි වූ බවට සාධක බොහෝ ඇත. උදාහරණයකට සිංහල ජ්‍යෝතිශයේ මූලික ග්‍රන්ථ තාමත් මෙරටේ ඇත.ඒවා සමහරක් රචනා කරඇත්තේද සූර්ය දෙවි වන්දනාවේ යෙදුනු රාවණ රජු විසිනුයි ( එසේම හෙළ වෙදකමේ ආරම්භයද මේ කාලයයි ). ඇතැම් පාරම්පරික වෙද මහතුන් සමග, එක්තර පොත් සමාගමක මෙම ග්‍රන්ථ තාමත් ශේෂයි. නොදන්නා, සොයාගත නොහැකි දේ අන්ධව ප්‍රතික්ශේප කිරීම ඔබලාගේ ක්‍රමය බව මා දනිමි.

සියළුදේම හෙළයන් කලබව කීම නවීන හෙළ විලාසිතාවකි. මෙවන් කතා වලට කියන්නේ මුගටි කතා කියාය. මෙය ඔප්පු කිරීමට අඩුගානේ ඔය කියන පොතේ නමත්, කතෘත්, ප්‍රකාශකයාත් සඳහන් කරන්න.

කෙනෙකුගේ ලග්නයට අයත් ගති ලක්ෂණ පොදුවේ මේ මේ යැයි දක්වන්නේ වුවද නියම ස්වභාවය කිව හැකි වන්නේ ඔහුගේ කෙන්ද්‍රයේ හා වෙනත් සියුම් කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් සැළකූ විටයි. මේ නිසයි කෙනෙකුගේ කේන්ද්‍රය ආවාට ගියාට විමසිය නොහැක්කේ.
කරුණු විකෘති නොකොට අපක්ෂපාතීව ( ඔබ විද්‍යාත්මක ක්‍රමය පිළිපදින්නේ නම් ) විමසන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. උඩින් පල්ලෙන් බලා කිසිවෙකුට එය වටහා ගත නොහැක. ඔබලා කරුණු විමසීමට භාවිත කරන විද්‍යාව යන මග එකකි, ජ්යෝතිශය ආදී සිංහල දැනුම් පද්ධති යොමුවූ මග තවෙකකි. එසේම ඒවායේ බිහිවීමද එළෙසින්ම වෙනස් වේ. භාවිතයද වෙනස්ය…විද්‍යාවෙන් ලෝකයේ සියළුම දේ විමසීමට විග්‍රහ කිරීමට නම් එය පරිපූර්ණ දැනුමක් දැයි ඔබම විමසා බැලිය යුතුය.

විද්‍යාව පරිපූර්ණ දැනුමක් නොවේ. ජ්‍යෝතිෂය පරිපූර්ණ ද? මේ ලිපියේ ඉහලින්ම රතු පාටින් උපුටා දක්වා ඇති අදහස් ගැන මොකද කියන්නේ? සීයක් කිව්වම දහයක් හරියන අනාවැකි කියන්න ජ්‍යෝතිෂයම ඕනෑද?

ජ්‍යෝතිශවේදියකු පරිණත වන්නේ කාලය ගත වීමත් සමගයි.ඔබ උඩින් පල්ලෙන් පොත් කියවා කතා කිරීම පූර්ණ අධ්‍යනයක් නොවන්නේය. ඔබ කල යුත්තේ අඩුම තරමින් කේන්ද්‍රයක් හදන්නට වත්, නැකතක් හදන්නටවත් නිසි පරිදි පළපුරුදු ජ්‍යෝතිශවේදියකු ලඟ ඉගෙනගෙන පර්යේෂණාත්මකව මෙහි තත්ත්වය පෙන්වා දීමයි.

ඔබ මේ කියන්නේ මුහුණ බලා සාස්තර කීම ගැනයි. ඔය කියන විදිහේ පරිණත වීම යනු අනුමාන කිරීමේ හැකියාවයි. මේ කිසිවක් ශාස්ත්‍රානුකූල නැත.

ඔබ ” ආඩම්බර රැඩිකල්වාදියකු” බැවින් මෙන්ම සමාජ ශෝධනය කෙරෙහි මහා උනන්දුවක් දක්වන බැවින් ලිපියේ ආරම්භය ගන්නේ ජ්‍යෝතිශයට පහර ගසාමය..එය තුල ඇත්තේ ගැටළුවකි. ඔබ සිතන්නට සළස්වන්නකු නොවන බවත් ඔබ කරුණු දක්වන්නේ ජ්යෝතිශය සමාජයෙන් තුරන් කිරීමට බවත් ප්‍රත්‍යක්ෂය.

මගේ අරමුණ මිත්‍යාවෙන් ගැලවීමට සිංහලයා උනන්දු කිරීමයි. ජ්‍යෝතිෂය යනු වැරදි උපකල්පන මත ගොඩනැගුනු මිත්‍යාවකි.

Read Full Post »

madman
උසස්පෙළ විහාග ප්‍රතිඵල ලැබීමෙන් පසු තාවකාලික පදනමක් මත රජයේ බැංකුවක මුදල් අයකැමිවරයෙකු ලෙස රැකියාවක් කිරීමේ අවස්ථාව මට ලැබුනි. ඒ මගේ මුල්ම රැකියාව විය. පලපුරුදු අයකැමිවරයෙක් සමග එක ලඟ කවුන්ටරයක වැඩකරන්නට මට කලමණාකාරිණිය ඉඩ ලබා දුන්නේ බැංකුවක වැඩ ගැන මෙලෝ හසරක් මා නොදැන සිටි නිසාය.

දුෂ්කර යයි සැලකුන පලාතක පිහිටි මෙම බැංකුවේ බොහෝ ගණුදෙනුකරුවන් දුප්පත් පන්තියේ අයවලුන් විය. ඔවුන් බැංකුවට පැමිණියේ රත්තරන් බඩු උගස් කිරීමට හෝ ඒවා බේරා ගැනීමටය. ගොවිතැන් ආරම්භ කරන සමයේ රන්බඩු උගස් කිරීමත් අස්වැන්න විකිණූ පසු නැවත ඒවාට පොලී ගෙවීම හෝ නිදහස් කරගැනීම ඔවුන්ගේ සිරිත බව මගේ ගුරු අයකැමිවරයාගෙන් මට දැනගත හැකිවිය.

දිනය අවසානයේ ලාච්චුවේ ඇති මුදල් සියයේ මිටි සකස් කර මලු වලට දමා සේප්පුවට දැමීමට ද ඉතිරි වන මුදල් ඇතොත් ඒවා වෙනම මල්ලකට දමා පසු දිනයේ භාවිතයට වෙනම සේප්පුවක දැමීමද බැංකුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය. නමුත් කිසිම දිනක මාරුකාසි මට ලැබුනේ නැත. ඒ නිසා ගණුදෙනුකරුවන්ට පියවියයුතු මාරු මුදල් නැතිවිට ඔවුන්ට බැංකුවෙන් පිටට ගොස් මාරු මුදල් ගෙන එන ලෙස කීමට මට සිදුවිය. නැතහොත් ඔවුන්ගේ රිසිට් පතේ පසුපස රුපියල්  දෙක පහ වශයෙන් සටහන් තබා පසු දිනක මගෙන් ඉල්ලාගන්නා ලෙස ඔවුන්ට පැවසීමි. බොහෝ ගණුදෙනුකරුවන් පසු දිනක හෝ පැමිණ මගෙන් රුපියල් දෙකක් හෝ පහක් වැනි ඉතිරි මුදල් ඉල්ලාගෙන යාම පුදුමයක් නමුත් ඒතරමට ඔවුන් දුප්පතුන් වූහ.

දිනක් කළු කෝට් එකක් දමා ගත් ගාම්භීර පෙනුමක් ඇති අයෙක් කවුන්ටරයට ඇති දිග පෝලිමද නොතකා පැමිණ ඔහුගේ මුදල් බෑගයක් මේසය මත තැබීය.

මම: මේ මොකද?
කළු කෝට්: ඉක්මණට මේක දානව.. මට පරක්කුයි…
මම: කරුණාකරල පොලිමේ එන්න.
කළු කෝට්: දන්නව්ද මම කවුද කියලා ?
මම: මට ඒක දැනගන්න ඕනි නැහැ. මෙතන කවුරුත් පෝලිමේ එන්නෙ.

කළු කෝට්කාරයා මුමුණමින් අනෙක් කවුන්ටරයේ මුදල් පසුම්බිය තැබීය. මොහොතකින් ඔහුගේ වැඩේ කර ඔහුව පිටත් කල මගේ ගුරු අයකැමිවරයා මට බණින්නට පටන්ගත්තේ ඔහු අසවල් නීතීඥ මහතා බවත් ඔහුට සලකන්න දන්නේ නැද්ද ආදී වශයෙනි.

“ආ කැම්පස් යන්නත් ඉස්සරින් දැනටම හිතට ලොකුකමක් ගහල”

මට තරමක් අසරණ කමක් දැනුනේ බැංකුවේ සේවකයින් බොහෝ දෙනෙකු ඇනුම් පද කියන්නට පටන් ගත් නිසාය.

මේ අතර සිද්ධිය දැනගත් බැංකුවේ සහකාර කලමණාකාරතුමා මා වෙනුවෙන් ඉදිරිපත් විය. ඔහු කල අවවාදය අදටත් මා පිලිපදින මූලධර්මයකි.

පුතා… පිස්සො කරන දේවල්වත් කියන දේවල්වත් ගණන් ගන්න එපා!

Read Full Post »