Feeds:
Posts
Comments

Posts Tagged ‘ඊලාම් යුද්ධය’

1948 පෙබරවාරි 4 දා නිදහස් උනාය කියන ලංකාව ඉන්පසු ලෝකයේ අනික් රටවලට සාපෙක්ෂව දියුණු නොවුනේ ඇයිද යන ගැටලුවට මගේ හිතට නැගුනු අදහස් කිහිපයක් සඳහන් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. ඔබ ලංකාව දැනටමත් ලෝකයේ අනෙක් රටවලට සාපෙක්ෂව දියුණු යයි හෝ වෙන මොනවා නැතත් (හරි හැටි අර්ථදැක්වීමක්වත් නොමැති) ආධ්‍යාත්මික දියුණුවක් ඇති රටකැයි සිතන කෙනෙක් නම් මෙම ලිපිය කියවීම ඔබේ කාලය නාස්ති කිරීමක් වියහැකිය.

දියුණුව යන්නෙන් මා අදහස් කරන්නේ
1) පෙර සිටියාට වඩා අඩු ශ්‍රමයකින් වැඩි වැඩප්‍රමාණයක් කරගැනීම,
2) පෙරට වඩා ආයුකාලය දික්වීම
3) පෙරට වඩා අඩු කාලයක් රැකියාවේ යෙදී වැඩි කාලයක් (උපයාගත් මුදලින්/දේපල වලින්) ජීවිතය විඳීමට ඕමාර් ඛයියාම් කියූ පරිදි ගත කිරීම
4) වෙනත් රටවල් වල වෙසෙන මිනිසුන් භුක්ති විඳින සියලු ආකාරයේ සැප පහසුකම් සමානව හෝ වැඩියෙන් විඳීමට ලැබීම

වැනි සරල, එහෙත් ඇඟට දැනෙන දේවල් ය. වෙනත් රටවල් සමග ඉහත කරුණු සංසන්දනය කල විට ලංකාවේ ජීවත්වන අපි සිටින්නේ ඉතාම පහල මට්ටමක බව තෙරුම් ගත හැක.


ලංකාව දියුණු නැතැයි කියන්නේ මා පමණක් නොවේ. 1948න් පසු ලංකාවේ බලයට පත්වුණු දේශපාලකයින් සියලු දෙනා දුන් පොරොන්දු අතර තිබුනු පොදු පොරොන්දුවක් වුනේ ලංකාව දියුණු කරනවා යන්නය. එමෙන්ම චන්දය ඉල්ලා ප්‍රචාරක රැස්වීම් පවත්වන විපක්ෂ දේශපාලකයින් බලයේ සිටි අයට එල්ලකල පොදු චෝදනාවක් වුනේත් ලංකාව දියුණු නොකල බවයි.

ගැටළුව එහෙම උනේ ඇයි ද? කියාය.

ලංකාව දියුණු නොවුනේ ඊලාම් යුද්ධය නිසා ද? මෙය දේශපාලකයන් බලයේ සිටින විට තමන්ට ජනතාවගෙන් එල්ලවන පීඩනයෙන් ගැලවීමට ඉදිරිපත් කරන ප්‍රකට මුසාවාදයකි. ඊලාම් යුද්ධය පටන් ගත්තේ අසූව දශකයේ මුල් භාගයේදීය. අසූව දශකය ආරම්භ වනවිට ලංකාව දියුණු තත්වයේ නොසිටි නිසා ඊලාම් යුද්ධය හේතුවක් ලෙස පිලිගත නොහැක.

සුද්දන් ලංකාවේ සාරය උරාගෙන, හපය අතහැර දමාගියා කියන එකද හේතුව? මෙයත් පෙර සඳහන් කල කාරණය වැනිම මහජනතාව මුලා කිරීමට දේශපාලකයින් විසින් ගෙතූ කෙප්පයකි. මෙම මතය ඉදිරිපත් කරන්නන් කියන පරිදි ලංකාවේ රන්, රිදී, මුතු, මැණික් තිබුනාලු, ඒවා සුද්දන් ගෙන ගිය නිසා අපි දුප්පත් වී නොදියුනු තත්වයකට පත් උනාලු. සුද්දන් එන්නට පෙර අපි දියුණුවී සිටි බවට කිසිදු සාධකයක් නැත. දැන් මෙම ලිපිය කියවන පාඨකයාට අනුරාධපුරයේ ඇති ලෝවාමහාපායේ ගල්කණු මතක් වන්නේ නම් එය දියුණු සමාජයක් තිබුනාට සාක්ෂියක් ලෙස සැලකිය නොහැකි බව සිහි තබාගත යුතුය.

1948දී සුද්දන් ලංකාව කල්ලන්ට භාරදෙනවිට ලංකාවේ තත්වය සුද්දන් අල්ලාගන්නා විට තිබුනාට වඩා තරමක් සතුටු දායක තත්වයක් තිබුනු බව මගේ අදහසකි. එසේ වන්නේ සුද්දා ආපිට භාරදුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූ රටක් නිසාය. ගඩාෆිගෙන් නැතහොත් සදාම් හුසෙන්ගෙන් ගැලවුනු ඒ රටවැසියන් වගේම අපිත් ඉන්දියානු සම්භවයක් ඇති රජ පරපුරකින් නිදහසක් ලැබුවේ සුද්දන් නිසාය.

නමුත් නොදියුණුකම නිදහස ලැබුනු විට වෙනස් කර ගැනීමට ලංකාවේ පාලකයන්ට නොහැකි වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි.

මතු සම්බන්ධයි!

Read Full Post »